Translate

Saturday, July 14, 2012

අපි ගිය දඹදිව චාරිකාව........කොහොමදැයි බලන්න..20

.

දුම්රියට නගිද්දි නම් ටිකක් තදබදයක් ඇතිවුනා.රාත්‍රී දුම්රියක් නිසා සෙනගත් වැඩිපුර හිටිය.ඒ වුනත් අපට වෙන්වුන ආසන තිබුන නිසා අපහසුම වුනේ නැහ.පෝටර්ලගෙ දක්ෂතාවය වන්නේ අපට වෙන්වුන මැදිරි අංක  දුම්රිය අංගනයෙ නවත්වන තැනටම අපිව එක්ක යෑම නිසා වඩාත් ලෙහෙසියි. අපි අටදෙනාට එකටම වාඩිවෙන්න ලැබුනෙ නැහ. දෙන්නෙකුට වෙනත් තැනක් ලැබුනෙ.ඒත් දුම්රිය ගමන් කරන විට එකට එකතුවෙනව.රැයක් පුරාවට අපි දුම්රිය ගමනෙ යෙදුන.සංකස්ස ත් දුම්රිය නැවතීමක් තිබෙන නිසා අපිගෝපාල් දක්වා යන්නෙ නැතිව සංකස්සෙන් බැසිමට තිරණය කලා.අපිව සංකස්ස පන්සලට ගෙන යැමට හිතවත් සේතංපැමිණ සිටිය.අපේ බඩුබාහිරාදිය දුම්රියෙන් බාගැනිමටත් පහසුවුනා.දුම්රියෙ සිටි තරුණයිනුත් අපට සහාය දැක්වුව.උදේ අටවිතර වෙන විට අපි පන්සලට ලගාවුනා.සියලු දෙනාම යුහුසුලු වුනේ මුණකට සොදාගෙන තේ පානය කිරිමටයි .දැන් අපට රාජුගෙ සහාය නොමැති නිසා පන්සලේ සිටින පිරිමි ලමයින් කිරි තේ පෝච්චියක් හදල ගෙනවිත්දුන්න.උදේ අහාරයෙන් පස්සෙ රෙදි පිලි සෝදාගෙන නෑම ටත් කවුරුත් සුදානම්. මම නම් නෑම ගැන එතරම් උනන්දුවුනේ නැහ.රාත්‍රියෙ දුම්රිය එනතෙත් එලියෙ සිටිම නිසා හිසරදය වගේ දැනෙන්න ගත්ත. තවම සීතල අඩුවෙලත් නැහ.පන්සල් වත්ත පුරා රෙදිවැල් ගැට ගහල රෙදිටික වේලගන්න පුලුවන් වුනා.දැන් අව්ව තියෙනව.දහවල් කෑමත් පන්සලෙන්ම හදාගන්න පුලුවන් වුනා.විසිඅටවැනිද දහවල් අපි සාංචිවන්දනාවට එකතුවුනා. මේ සදහා පන්සලේ සිටින තපස්සි ස්වාමින්වහන්සේ අපත් සමග වැඩමකලා.පන්සලේ සිට වාහනයකින් ගියත් අතරමගදි පයින් ගමන් කරන්න සිදුවුනා පාර අලුත්වැඩියාවක් නිසා වාහනයට යන්නට නොහැකියි.පුංචි කන්දක් මුදුනෙ තමයි සාංචි විහාරය පිහිටල තියෙන්නෙ.පලමුවෙන්ම බුදුගෙට ගොස් පන්සිල් සමාදන් වුනා.තපස්සි හිමියන් සාංචිය ගැන හැදින්වීමක් කලෙත් මෙහිදියි.අපි වගේම ඉන්දියානුවනුත් සාංචිය වැදපුදා ගැනිමට පැමිණ සිටිය.සාංචිය ශ්‍රීලංකික අපට සුවිශේෂි වැදගත් කමක් ගන්නව.බුදුදහම ලංකාවට රැගෙන ආ මිහිදු හිමිගෙ ජන්ම භූමිය විමත් සංඝමිත්තා තෙරණියගේ ජන්මභූමිය විමත් මේ වැදගත් කමයි.ලෝකවාසි බෞද්ධයින්ට වැදගත් වන්නේ සැරියුත් මහ රහතන්වහන්සේගේත් ,මොග්ගලීපුත්තතිස්සමහරහතන්වහන්සේගේත් ධාතුන් තැන්පත් කල ස්ථානය වශයෙනි.
මේ බුදුමැදුරයි. ධාතුන් වහන්සේලා සෑම නොවැම්බර්මසකම පුදර්ශනය කරන අතර අපට එදින වැදපුදා ගැනිමට නොහැකි බව තපස්සි හාමුදුරුවන් වදාලා.නමුත් ශ්‍රී ලාංකික බෞද්ධයින්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් අනුව ,සේයාරුවෙන් පෙනෙන බුදුරුව පිටුපස ආරක්ෂිතව තැන්පත් කර ඇති ධාතුන් වහන්සේලා වැඩසිටි ස්ථානය ගොස් වැදගැනිමට අපට හැකිවුනා.
ධර්මාශෝක රජතුමා  අවන්ති ප්‍රදේශයේ යුවරජව සිටි කාලයේ විවාහ කරගත් වේදිස දේවියට ලැබුන දරුදෙදෙනා වුයේ මිහිදු හා සංඝමිත්තායි.තපස්සි හිමි මේ ඉතිහාසය පිලිබදව රසවත් කතාන්දරයක් අපට කියා දුන්නා.සැබැවින්ම අප නොදන්නා ඒ කරුණු මෙන්ම සාංචිය ගැන තොරතුරුද ඉතාමත් පැහැදිව අපට කියාදිම ගැන උන්වහන්සේට පින්සිදුවෙනව.පසුකලෙකඅශෝක අධිරාජයාගෙන් වෙන්වු වේදිස දේවිය වෙනම ජීවත් වු  බව කියයි.මිහිදු හිමියන් සාංචියෙ සිට ලක්දිව වැඩම කර මවගේ බලවත් ඉල්ලිම පරදි නැවතත් සාංචියට වැඩම කරතිබෙන.වේදිස දේවියගෙ නෑයින් වෙනත් ආගමිකයින් වු නිසා ඇයට නෑයින්ට හොර රහසේ මිහිදු හිමියන් දැකිමට සාංචියට පැමිනිමට සිදුවිතිබෙනව.වේදිස දේවිය ජිවත්වු ස්ථානය යැයි ස්වාමින්වහන්සේ ඈතින් පෙනෙන කන්දක් පෙන්නුව.මිහිදුහිමියන්ට දානය රැගෙන නෑයින්ට හොරෙන් පැමිනිමට උමගක් හාරා ඒමගින් මව් දේවිය පැමිනි බවත් උන්වහන්සේ පැහැදිලිකලා.එය විශාල දුරක්......සාංචිය අසල තිබෙන උමංදොර තමයි මේ සේයාරුවෙන් දැක්වෙන්නෙ.



රහසින් පැමිණෙන මවගේ දරු සෙනෙහසට ඉඩදුන් මිහිදු හිමි මවගේ අකමැත්ත තිබුනත් නැවතත් ලංකාවට වැඩම කල බවත් පිරිනිවන් පාන්නෙත් ලංකාවේ බවත් තපස්සි හිමියන් පැහැදිලි කලා.ජයශ්‍රීමහ බෝධිය ලංකාවට ගෙන එන්නට පලමු සාංචියෙ තැන්පත් කර තිබි ඇත . දැනට  නටබුන්ව තියෙන සංඝමිත්තා තෙරණිය ගේ විහාර මන්දිරය තමයි මේ ඡායාරූපයෙන් පෙනෙන්නෙ.එය විශාල කර බැලු විට ශ්‍රීමහා බෝධිය ලංකාවට ගෙන එන්න පලමු තැන්පත් කර තිබු කටාරම ඈතින් පෙනෙනව.
සංඝමිත්තා තෙරණියගේ විහාරය




තපස්සි හිමියන්


අශෝක අධිරාජයා පසුකලෙක සාංචි යෙ නොයෙකුත් විහාර කර්මාන්ත කරඇත.තනිකරම කලුගලෙන් කල දෙමහල් පාය වටිනා නිර්මාණයකි. පසුකලෙක මුස්ලිම් ආක්‍රමණවලින් කොටසක් විනාශවි ගෙොස් ඇත.
                    

නෙල්ලිගෙඩිය
පසුකලෙක අශෝක අධිරාජයා රෝගිව සිටින විට සංඝයාවහන්සේලා නිතරම දුක සැප බැලිමට රජු බැහැ දැක ඇත.එවන් දිනෙක සංඝයාවහන්සේලාට පුජා කර ඇත්තෙ නෙල්ලිගෙඩියක් පමණි.ඒ අවස්ථාව සිහිපත් කරනු වස් දෙමහල්පාය මුදුනෙහි කලුගලින් නෙල්ලි ගෙඩියක් නිර්මාණය කරඇත.මුස්ලිම් ආක්‍රමණිකයන් එය බිමහෙලා විනාශ කර ඇති අයුරු අපට දකින්නට ලැබුනි. මේ ප්‍රදේශයේ නෙල්ලි ගෙඩිය අපට හුරුපුරුදු නෙල්ලිගෙඩියේ හැඩයට වෙනස්ය.
මේ සාංචි වන්දනාවෙන් පසු නැවතත් අපි පන්සලට පාගමනින් පැමිණියෙමු.මෙතෙක් කල වන්දනාමාන නිමාකරමින් ලැබුනු විවේකයේ අපි සියලු දෙනාම එකට එකතුවි ගමනෙ සුන්දරත්වය කතාබසින් වින්දනය කලෙමු.සිහිනයක් විපැවති දඹදිව ගමන සෑබෑ වු ප්‍රීතිය අපි කාගෙත් සිත්වල උතුරා යමින් පැවතුනි.සැබැවින්ම පංචසීලයෙහි පිහිටමින් කලාවු වන්දනාව කිසිම කරදරයකින් තොරව අසනීපයකින් තොරව නිමාවිම අප කාටත් සතුටකි.
නැවතත් රාත්‍රි ආහාරය සාංචියෙ සිටින සේතං මයා අපට පිලියෙල කරදුනි රසවත් කරියක් සමග රොටි හරිම රසයි.ඒකට උණු තේකොප්පයත් ගෙන ආවේ තවත් රසවත් බවක්.......පසුදා අපි නැවතත් ගමන ආරම්භ කලයුතුයි.දුම්රියෙන් අපේ අවසාන නැවතුම වු චෙන්නායි බලා පිටත්වීමේ අදහසින් සියලු දෙනා නින්දට ගියෙමු.දඹදිව ගමනේ අවසන් අදියර ගැන නැවතත් ලියන තෙක් කියවන ඔබලාට ස්තුතියි.

Tuesday, July 3, 2012

අපි ගිය දඹදිව චාරිකාව........කොහොමදැයි බලන්න..19

දෙසැම්බර් 26 වැනිද උදේ ටිකක් දහවල් වෙලා තමයි අපි සැවොම අවදිවුනේ.ගමන් මහන්සිය නිසා වෙන්නැති.මේ වන විටත් රාජු තේ පානය සුදානම් කරල තිබුන.උදේ කෑමට සුදානම් කරල තිබුනෙ රොටි ....සියලුම දේ නා කෑම ශාලාවට එකතුවුනා. ඉතින් කතාබහ අතරින් නොදැනිම කෑම  ටික ඉවරවුනා. කවුරුත් කතා කලේ ලැබු අත්දැකිම් ගැන..ඒ වගෙම දවස් ගණනක් අපි අතර හිටි රාජු 28 වැනිද අපෙන් සමුගෙන බරණැස බලා යනව.සුහදයෙකුගේ වෙන්වීමේ විලාපය  කාගෙත් හදවත් වල රැව්දුන්න.ඔහු වෙනුවෙන් යමක් කල යුතු බව අපි කවුරුත්  එකගවුනා.ඒ සදහා නෙයෙකුත් අදහස් ඉදිරිපත් වුනා.ඇද පැලද සිටි ඇදුම් වල ස්වාභාවය අනුව අපි අමතරම ඇදුමක් අරගෙන දෙමුයි කියා තීරණය කලා. වෙනම අමතර ගාස්තුවක් දීමත් ගංගමිස් අතින් සිදුවෙනව. අපේ දිල්ලි රවුම යන්න දැන් සුදානම් වෙන්න ඕන වුනත් ඇදුම් පැලදුම් සෝදගෙනම යමු කියල කතාවු නා .ලහි ලහියේ කවුරුත් රෙදි ටික හෝදල වේලෙන්න දාල ගමන යන්න සුදානම් වුනා.නවාතැනෙ සිටි  ඉන්දියානුවෙක් අපිට වාහනයක් සුදානම් කරල දුන්න.  අපි පලමුවෙන්ම ගියේ දිල්ලි කෞතුකාගාරය බලන්නයි. විශාල ගොඩනැගිලි අතරින් යන මේ ගමන අපේ කොළඹ සිහිගැන්වුව. ඉන්දියන් රුපියල් 300ක් එක්කෙනෙකුට අයකරනව.ශරීර පරීක්ෂාවකින් පසුවයි ඇතුලට යන්න දෙන්නෙ.බලන්න වටිනා දේවල් තියෙනව.අපේ හිත්ගත්තෙ .සර්වඥධාතු කරඩුව වැද පුදා ගැනිමයි.

ඒ වගේම ලස්සන කලා නිර්මාණයකුත් තිබුන .ධාතුන් වහන්සේ ලා පොටෝගන්න දුන්නත් අනෙක් ඒව දෙන්නෙ නැහ. අවශ්‍යතාවය නිසාම මම පොටෝ එකක් ගත්ත.
ඇත්දල කැටයමක් ඉතාසියුම්ව කරල තියෙන්නෙ. හරිම ලස්සනයි  ඊලගට ගියේ නේරුතුමාගෙ කෞතුකාගාරය බලන්න.එතන නම් පොටෝ එකක් ගන්න ලැබුනෙ නැහ. වෙඩි වැදුන තැන ස්මාරකයක ් තියෙනව.විශාල තිරයක නේරුතුමාගෙ අන්තිම අවස්ථාව දැක්වෙන වීඩියෝ නිර්මාණයක් බලල පැහැදිලි කරගත හැකියි. නේරුතුමාගෙ ජීවිත කාලයේ විවිධ අවස්ථාවන් දැක්වෙන නිර්මාණාත්මක කුටි සකස් කරල තියෙනව.යන අයට හොද අවබෝධයක් ලැබෙනව.ඒ මොකද ඒව ජීවමාන ස්වරූපයක් ගන්න නිසා.වෙනම ම පරිහණ භාණ්ඩ ප්‍රදර්ශනය කර තිබෙනව.එතනින් අපිගියේ ඉන්දිරාගාන්ධි කෞතුකාගාරයටයි.ඒ යන අතරෙ වාහනයෙ රියදුරු එක එක ෂොපින් සෙන්ටර්වලටත් ගෙන යනව.ඒවයින් මිළදි ගන්න දෙයක් අපිට තිබුනෙ නැතත් විසිතුරු දේවල් බලල සතුටුවුනා.මේය අපිට කරදරයක් වුනා.රියදුරුට ඒබව කීවත් ගත්තෙ නැතත් බලල එන්න කිව්ව. එයින් යම්කිසි වාසියක් ඔහුට ඇති බව අපට හැගිගිය නිසා අපහසු වුනත් හැමතැනකටම ගියේ නැරඹීම සදහායි.ඉන්දිරා ගාන්ධි කෞතුකාගාරය ට අපි යන විටත් සෑහෙන සෙනගක් රැදි සිටිය.අපේ අධ්‍යාපන ඇමතිතුමත් ඒ අවස්ථාවෙ කෞතුකාගාරය නරඹමින් සිටිය.සුහදව කතාබස් කරමින් එතුමා අපි සමග සේයාරුවකටත් පෙනිසිටිය.
ඉන්දිරාගාන්ධි මැතිණිය මියයන විට ඇද සිටි සාරිය

ඇගේ අතින් කල නිර්මානයක්

ගෙදර සිට ගමන් කල මාර්ගය .ඈතින් සෙනග පෙනෙන තැනදි තමයි වෙඩි වැදී ඇත්තෙ.දැනට කෞතුකාගාරය පවත්වාගෙන යන්නෙ එතුමියගේ නිවසෙයි.


මෙතනදි තමයි වෙඩිවැදි ඇත්තෙ. දිල්ලියෙ විසිතුරු නරඹමින් නගරය පුරා වාහනය ගමන් කලා.දැන්නම් පිරිසිදු කමක් තියෙනව කියල මාල මිස් කිව්ව.මමත් අහල තියෙනව අඈත ප්‍රදේශවලින් පැමිණෙන රියදුරන් දිල්ලියට එනවිට පිරිසිදුවට එනව කියල. නැතිනම් දඩගෙවන්න වෙනවලු.ලොටස් පන්සලත් බලන්න ගියා.විවිධ ආගමික ස්ථාන මෙහි තියෙනව.නෙලුම් මල ක හැඩය ගත් නිසා ලෝටස් කියල හදුන්වනව.

ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කරඇති මෙය බලන්නත් විශාල පිරිසක් පැමිණෙනව.මගදි පාවහන් ගලවා බෑගයකට  දමා යන්නඕන. අපි අකමැත්තෙන් වුවත් එහෙම කලා.ලංකාවේ වගේ එනකොට නැතිවේවි කියල හිතාගෙන .එහෙම වුනේ නම් නැහ.එදා දවස දිල්ලිය පුරා ගතකරල හවස් යාමේ තමයි අපි නවාතැනට ආවේ.ඊට පසුදා තෑගි ටිකක් මිළදි ගන්න අපි ගියා.එකට ගියත් වෙන්වෙන් වශයෙන් තමයි යන්න වුනේ.සපත්තු හෙම හරිම ලාභයි.ඉන්දියන් රුපියල් 150කට වගේ ගන්න පුලුවන්.කොහොම හරි මමයි තමර නංගිටයි වෙලාව ගියා දැනුනෙ නැහ. නවාතැනට එනවිට හවස පහත්පහුවෙලා. කුසගින්නත් දැනුන.ඉක්මනින් කෑමකාල ඇදුම් මාරුකරගෙන දිල්ලියෙන් පිටත්වෙන්න සුදානම්වෙන්න ඕන.රාත්‍රී අටට තමයි දුම්රිය තියෙන්නෙ.කට්ටියම ගමන් මලු අස්පස්කරගත්ත. දැන් දැන් අදුරත් වැටිගෙන එනව.මෙහදි අපිට ලංකාවේ හමුදාවේ ලමයි කිපදෙනෙකුත් හමුවුනා.
ගමන් මලු ගමනට සුදානමින්

රාජු අපෙන් සමුගන්න මොහොත

දුම්රිය එනතුරු
අපේ ගමන් මලු පිටත්වෙන්න සුදානමින්

දුම්රිය එනතුරු අපට සහාය වු ඉන්දියානු ජාතිකයා
පෝටර්ල මාර්ගයෙන්අපගේ ගමන් මලු දුම්රිය ස්ථානයට ගෙන්වාගත්ත.එදා දුම්රිය ටිකක් පරක්කුවුනා.රාජු බරණැස බලා යන දුම්රියට යන්න පිටත්වුනා.දැන් අපි දුම්රියෙන් පිටත්වෙන්නෙ ගෝපාල්වලටයි.ගෝපාල් ස්ටේෂන්වලින් බැහල සංකස්සට යන අදහසින්.ඒ දුම්රිය ගමනත් අපුරූ අත්දැකිමක් එකතු කලා.ඉතිරි ටික දුම්රියෙ යන ගමන් විස්තර කරන්නම් .එතෙක් ආයුබෝවන් ......මා සමග දඹදිව චාරිකාවට එකතුවුන මිතුරු මිතුරියනේ..........අ


Sunday, July 1, 2012

අපි ගිය දඹදිව චාරිකාව .......කොහොමදැයි බලන්න(18)

මේ විස්තරය ලියන්න තිබුනෙ දිල්ලිය ගමනට කලින්. ඒත් මට පුංචි වැරදීමක් සිදුවුනා.දින 19යක ගමන දැන් මතකයෙන් ලියන්නෙ.සැවැත්නුවර සිට කෙලින්ම දිල්ලියට පැමිණියෙ නැහ.අතරමග එක් දිනයක් ගතකරලයි දිල්ලියට පිටත්වුනේ.  දෙසැම්බර් 24 වැනිද අපි රාත්‍රිය ගත කලේ සංකස්ස වලයි.සැවැත්නුවර සිට කි.මී.හාරසීයයක පමණ දුරකින් තමයි සංකස්ස  තියෙන්නෙ.බුදුන් වහන්සේ වැඩසිටි තැන්වලින් සුවිශේෂි තැනක් ලෙස සංකස්ස හදුන්වන්න පුලුවන්.සංකස්සට එද්දිත් ගොඩක් රෑ වුනා. මේ පන්සලෙත් වන්දනා කරුවන් වෙනුවෙන් නවාතැන් පහසුකම් තියෙනව.රාත්‍රී පැමිණි අප වෙන්වෙන් පන්සලෙ හාමුදුරුවන් ඉතාමත්  සුහදශීලිව පිලිගත්ත.කි.මී. හාරසියයක දුර ප්‍රමාණයක් ගෙවමින් පැමිණි අපි ඉතාමත් වෙහෙසකින් සිටිය.උන්වහන්සේ ඒබව අවබෝධ කරගත් නිසා අපට පැවැසුවෙ දුරකතන පණිවිඩයක් දුන්නා නම් අපි කෑම ටිකක් පිලියෙල කරතබනවානෙ කියා.පන්සලෙ සිටින ශ්‍රීලාංකික මහත්මයෙක් ඉක්මනින් අපට කිරිතේ කෝප්පයක් පිලියෙල කරදුන්න.රාත්‍රී ගමනෙදි තදින්ම සීතල දැනෙනව.ස්වාමින්වහන්සේ අපට බිස්කට් පැකටි කිහිපයක් කෑමට ලබාදුන්න.ඒ නිසා රාත්‍රී ආහාරයෙ අවශ්‍යතාවය තදින්ම දැනුනෙ නැහ. කෑමට වඩා ඉක්මනින්ම නින්දෙ අවශ්‍යතාවය තදින්ම දැනුන.එදා දවසෙ තදින්ම මීදුම රැදිල තිබුන. වාහනය වේගයෙන් එලවන්න අසීරු වුන නිසයි ගමන පමාවුනේ.
                                    පසුදා උදේ කෑම කාල  දහවල් කෑමත් සකස් කරගෙන පන්සලෙන් සමුගත්තෙ සංකස්සයේ ඇති තැන් වන්දනාමාන කරගනිමින් කෙලින්ම දිල්ලිය බලා යෑමටයි.ලොව්තුරා බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වී හත්වන වර්ෂයේදි තව්තිසා දිව්‍ය ලොව වසන තම මැණියන් වු මාතෘදිව්‍ය රජායාට අභිධර්මය දේශනා කිරිමට වැඩම කලේය. මෙය වු කලි බුදුපියාණන්ගේ පෘථිවියෙන් බැහැරව වැඩම කිරිමකි.නැවතත් මනුලොවට වඩිනුයේ තුන්මසකට පසුව බව ත් එය සිදුවන්නෙ සංකස්ස පුරයේදි බවත් අනුරුද්ධ මහ රහතන්වහන්සේ ප්‍රකාශ කල සේක.අද ජනශුන්‍ය ප්‍රදේශයක් වුවත් එදා ජනයාගෙන් පිරිපැවති පුරවරයෙක් විය.ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දෙව්ලොව සිට රුවන් ඉනිමගකින් මනුලොවට වැඩිය හැටි චිත්තරූප මැවේ. පසුකලෙක අශෝක අධිරාජයා මේ ස්ථාන සොයාගෙන ලොවට හෙලිකලේය.දැනට මෙහි තිබෙන පන්සලේ සිටින නායක ස්වාමින්වහන්සේගේ කරුණාබරිත බව කියා නිම කල නොහැක.පන්සලට ඉන්දියාවෙන් ලැබෙන කිසි දෙයක් නැත.නායක ස්වාමින්වහන්සේ ගේ අප්‍රහිත ධෛර්ය නිසා පැමිනෙන අයගෙ න් ලැබෙන අධාර මත දියුනු වීතිබේ.හාමුදුරුවන්ට දානයක් දීමට තරම් වත් කෙනෙක් නැත.ඒ සියල්ලට මිළ මුදල් සොයාගන්නෙ යන වන්දනා නඩ අතරිනි.ඕනෑම කෙනෙකුට දානයකට මුදලක් පිරිනැමිය හැක .දුෂ්කර ජීවිතයක් ගතකරමින් වුවත් අපේ ස්වාමින්වහන්සේ නමක් එහි නොසිටියා නම් සිව ලිංගය තැන්පත් කල කෝවිලක් ලෙස සංකස්ස පුර බෞද්ධයින්ට අහිමි වෙන්නට තිබුනි.
සංකස්ස පුර පන්සල

බුදුරදුන් දිව්‍යලෝකයේ සිට පෘථිවියට පැමිණි ස්ථාන



රුවන් ඉනිමගක් මගින් පොලොවට වැඩිය බුදුරදුන් පිළිගැනිමට දහස්සංඛාත සෙනගක් මේ ස්ථානයෙ රැදි සිටිබව පොත පතේ සදහන් වෙනව.රුවන් ඉනිමග පොලොවට ගිලි ගිය බවත් සදහන් වෙනව.අවිජහිත පුණ්‍ය ස්ථාන හතර ලෙස බුදුන්වහන්සේගේ ස්පර්ශය ලබපු ස්ථාන ලෙස හදුන්වනව.ඒ ස්ථාන නම් බුද්ධගයා,ඉසිපතනය,සැවත්නුවර ,සංකස්සයි.ලෝකමහා විවරණ පුජාව කල ස්ථානය ලෙසත් සංකස්ස වැදගත් වෙනව.ලෝක මහා විවරණ පුජාවකියන්නෙ තුන්ලෝකයටම මහපොලව විවෘත විමයි. එදා බුදුරදුන් පිළිගැනිමට දෙව් මිනිස් වග එකතැනකට රැස්වු  අවස්ථාවක්.මිනිසුන්ට දෙවියනුත් දෙවියන්ට මිනිසුනුත් දැක ගැනිමට මෙහිදි හැකිවුනා.ශක්‍රයා ,මහබඹු ඇතුලු සියලු දෙවිවරුන් වැඩිබවට සදහන් වෙනව.මේ සංකස්ස පුරය එදා සශ්‍රික ප්‍රදේශයක්ව පැවතියා.මෙහි පාලකයා වුනේ සිරිවර්ධන නම් සිටාණන් කෙනෙක් .එදා දිනදි මතු බුදුවෙන මෛත්‍රි බුදුන් ලෙස විවරණය ලබාගන්නව.එකම දිනකදි  බුදුබව පතා වැඩිම පිරිසක් ප්‍රාර්ථනා කල ස්ථානය වීමත් මෙහි විශේෂත්වයයි.
සංකස්ස ගැන මගේ වීඩියෝවක් ඇතත් උබුන්ටු තුල එය අප්ලෝඩ්කිරිමට නොහැකියාවක් ඇතිවි ඇති නිසා සියලුම වීඩියෝ පසුවට යොදන්නම්.මේ තාක්ෂණික ගැටලුව ඇතිවුනේ 12.04 අප්ඩේට් කලාට පසුවයි .දන්න කෙනෙක් ඇත්නම් මට සහාය දෙන්න.ඒ ගැටලුව විසදාගන්න.